Tuesday, January 27, 2015

සූස්තියක් කල හදියක්



 මේ අසමත්ජාති වැඩේ උනේ අපි දෙක වසර සිස්සයන් වෙලා ඉන්න කාලේ,දැන් කට්ටිය බලයි මුන් 2 වසරේදීත් ගංජා ගැහුවද කියල,මේක අපි කැම්පස් එකේ දෙක වසරේදී(2nd year) එකේදී වුන සීන් එකක්,කැම්පස් එකක් කිව්වට මේක පෞද්ගලික එකක් හරිය. ඔන්න ඉතින් හැමදෙනාගේම සියලු දෝෂ ධුරිංභූත වෙලා යන්න කියල හැම අව්රුද්දේම ශිෂ්‍ය සංගමෙන් පිරිතක් සංවිධානය කොරනවා.අපි දෙවන වසරේ ඉද්දිත් මේක ලැස්ති කරලා තිබ්බ.

අපිත් රෑ 7 විතර වෙද්දී චිකන් කොත්තුවක් එහෙම කාලා පේවිල පිරිත් අහන්න පිටත් උනා.මමයි මහේ අතිජාත රූමායි ගේට්ටුව ගාවට යන කොට අපේ අසමත්ජාති සෙට් එක ඔක්කොම වගේ ඇවිල්ලා,කට්ටිය සංකීර්ණ මුදල් ගනුදෙනුවක,කොටස් වෙළඳපොළ වත් මෙහෙම නැතුව ඇති.මාත් පොඩ්ඩක් ඔලුව දැම්ම අපේ batch එකේ  සුපිරිම බුලට් එකක් හෝ ගාල සල්ලි එකතු කරනවා.මාව දැකලා මගේ දිහාවට හැරුන පොර අඩෝ අසමත්ජාතියා පිරිත් පැන් ගේන්න සල්ලි දීපිය කිව්වා.මාත් ඉතින් කන බොන දේවල් වලට ලොස් නැහැනේ,අත පුරවල දීලා දැම්ම.දැන් සල්ලි එකතුවෙලා ඉවරයී සල්ලි එකතු කරපු බුලට් එක කෑගහනවා අඩෝ බයික් එකක් අරන් වරෙන් ඉක්මනට,තඩි බෑග් දෙකකුත් ගෙනෙන්.අපේ සෙට් එකෙත් අමුතුම ඩයල් තමා ඉන්නේ,ඔක්කොම වටවෙලා පිරිත් පැන් ගේන්න යන එකාට උපදෙස් දෙනවා.අඩෝ ගල් නම් ගේන්න එපා බන්,අඩේ සුදු ඒවා මොනොවහරි ගෙනෙන් බන් මම ඒවා විතරයි බොන්නේ,අඩෝ මේ සැන්ඩි වලට කෝක් ගෙනෙන් sprite එහෙම ගෙනාවොත් බලාගමු ආආආ....උපදෙස් කෝටීයයි.ඔන්න කොහොම කොහොම හරි බෝතල් ගේන්න දෙන්න පිටත් උනා.ඉතුරු නඩය පිරිත් ඇසීම සඳහා ක්‍රීඩාංගනය බලා පිටත් උනා,පිරිත් නම් තිබ්බේ ක්‍රීඩාංගනයෙ නෙමයි.  ක්‍රීඩාංගනය ළඟ තියන පළල් පඩිපෙළ එක කෙළවරක ඉඳන් අනිත් කෙළවරටම යනකං කොල්ලෝ පොඩ්ඩ පොඩ්ඩ සෙට් වෙනවා පිරිත් අහන්න.1 වසර සිට 4 වසර දක්වාම සියලු දෙනා සහෝදර බැඳීමෙන් බෝතල් වට කරගෙන තැනින් තැන සෙට් වෙලා.තැනින් තැන ඉඳහිට දුමකුත් දානවා.

ඔන්න අපිත් කෙළ හල හල බලාගෙන හිටපු පිරිත් පැන් ටික ආව.අපේ සෙට් එකේ ඔක්කොම 17 විතර හිටිය බොන උන් 12 හිටිය. බොන්න ගේන්න ගිය උන් old keg බෝතල් හතරක් ගෙනල්ල තිබ්බ,සැන්ඩි වලට sprite, වඩේ සහ කඩල තව ඉතින් නැතුවම බැරි රත්තරන් පත්තරේ ඔතන ලද සිගරට්.සුදු අරක්කු විතරක් බොන උන්ගේ මුණු කළුවෙලා කටට එන කුණුහරප කියාගන්න බැරුව උන් තරහයෙන් වෙව්ලනවා ඔය තරහ මරහ ඔක්කොම ඉතින් බෝතලේ කඩනකම් විතරයි.ඊට පස්සේ බොන මගුලේ සුදුද කළුද රතුද බලන්නේ නැහැ.බොන්න ගේන්න ගිය පොර මගේ ලඟට ඇවිල්ලා මගේ සාක්කුවට මොනවදෝ දැම්ම,අම්මෝ සිගරට් පැකට් එකක්.මාත් ඉතින් කට පුරා හිනාවෙලා එළ කියල කිව්වා.

දැන් ඉතින් පිරිතත් යනවා අපේ වැඩෙත් නැගල යනවා,අන්තිම බෝතලෙත් තව පොඩ්ඩ්යි තියෙන්නේ.කට්ටියටම හොඳ ගණන්,සමහරුනම් සමතලා වෙලා.එකපාරටම අපි වාඩිවෙලා හිටිය තැනට ආවා අපේ බොක්ක සීනියර් අයිය කෙනෙක්,පොර නම් කරටි කැඩෙන්න ගහල හිටියේ ඒ උනාට අපිත් ආගන්තුක සත්කාරේට බර කොල්ලෝ වෙච්චි මම කිව්වා..අයි..යා දා...මු තව..ෂොට් එකක්...ෆිට් එකනේ...අයියත් සිංහයා වගේ හරි..දා...පන් කිව්ව..මම කප් එකේ කට කපල ෂොට් එක වක්කරලා දුන්න.අයියත් ඇරලා දැම්ම එක පාරම,පොරගේ කට දෙපත්තෙන් අරක්කු බේරෙනවා,කාටද ඔය වගේ ෂොට් එකක් එක පාරම කටේ හලාගන්න පුළුවන්.අයිය යන්න කියල නැගිට්ට පොර හතර අතේ වැනෙනවා මම ඉතින් ඌව නිකන්ම යවන්න බැහැ නේ කියල සිගරට් එකකුත් පත්තු කරලා කටේ ගැහුවා.ඌ යන්න කලින් මගේ අතට දුන්න තඩිම තඩි සුස්තියක්/ජෝ/blunt එකක්, බලාගෙන ගහපන් ඔය KG අහ්හ් කියල,මමත් අම්ම ඔයා දෙයියෙක් නේ කියල උට පුළුවන් තරම් තෑන්ක් යු කියල පිටත් කරා.මම ඉතින් සුස්ති රාජයාත් අරගෙන මේ වෙනකොට සිහියෙන් හිටපු ටික දෙනාත් එකතුකරගෙන පිට්ටනියේ අයිනේ රවුමක් හැදිලා වාඩිවුනා.අපි පස් දෙනයි මේ වෙනකොට අමාරුවෙන් හරි මේක ගහන්න හිටියේ.අපිත් එක්ක හිටියා හෙන චේන් පැනපු පොරක් උට යකා කියල කියන්නේ මම උට දුන්න සුබ මොහොතින් පත්තු කරපන් ජෝ එක කියල,මූ එක පත්තු කරලා පාරවල් 3 විතර ඇද්ද.ඔහොම වටේ යවල සුස්තියත් ගහල ඉවර උනා.පස් දෙනාම සද්දයක් නැහැ,මම අනිත් උන් හිටපු තැනට ගියා පට්ට තිබහක් හැදිල.ඔහොම ටික වෙලාවක් ගියා.... කට්ටිය තැනින් තැන ලාවට සින්දු කියනවා ,ගොඩක් උන් වැටිලා,නින්ද ගිහින් මම අපේ කට්ටියත් කයියක් ගහන් ඉන්නකොට අර යකා කියල කියපු ඩයල් එකගෙන් කෝල් එකක් එනවා.මාත් phone එක ආන්සර් කරා..හෙලෝ,මම උඩ ගියා යකා phone එකෙන් බෙරිහන් දෙනවා අඩෝ අසමත්ජාතියා මාව බේරගනින් මාව ගහගෙන යනවා බන්,ඉක්මනට වරෙන් බන්.මම ඇහුව කොහෙද යකෝ උඹ ඉන්නේ කියල, මේ ඇල ළඟ ඉන්නේ ඉක්මනට වරෙන් කියල.කෝල් එකත් කට් කරා,මට වෙරි හිඳුන කොහෙද ඇලක් තියෙන්නේ මේක අස්සේ,

මම අපේ සෙට් එක ගාවට ගිහින් අඩෝ යකාව දැක්කද කියල ඇහුව එකෙක් කිව්වා පොර car පාර්ක් එක පැත්තට ගියා කියල.මම කට්ටියව ඇදගෙන car පාර්ක් එකට ගියා.car පාර්ක් එකේ කොනේ කාණුවක් තියනවා.ඔය කාණුව ළඟ පේලියට බෙන්ච් හදල තියනව.අපි දැකපු දර්ශනෙන් කට්ටියට සඳ මෝල් උනා,මට විනාඩි 5 විතර එකදිගට හිනා ගියා,කඳුලූත් ආව.අපි යද්දී අරු(යකා) බෙන්ච් එක බදාගෙන කාණුවට කකුල් දෙක දාගෙන කෑගහනවා අනේ මාව බේරගනියෝ,මාව ගහගෙන යනෝ කියල...මම ලඟට ගිහින් පොරව නැගිට්ටවල බෙන්ච් එකේ වාඩිකරා.මූ තවම විකාර කියවනවා.අපිට තවම හිනා,මම ඇහුව මොකද යකෝ උනේ කියල.අඩෝ ඇලේ ගහගෙන යන්න ගියා බං වෙලාවට උඹලා ආවේ කියල.මාත් හරි හරි කියල  මුව පිට්ටනියට එක්කන් ගියා.
පිට්ටනිය අයිනේ අර pitch එක තලන ගල් රෝලක් වගේ item එකක් තිබ්බ,මූ වැනි වැනි ගිහිල්ලා ඕකේ handle එක වගේ තියන එක අත් දෙකෙන් අල්ලගෙන පොළොවට kick කරනවා,මූ හිතන්නේ දැන් bike එකක් උඩට නැගල ඉන්නවා කියල.ඌ කොල්ලෙක්ට කියනවා අඩෝ මේක neutral එකට දාලා දීපන් මට බෝඩිමට යන්න,අඩෝ......අපිට මැරෙන්න හිනා.කොහොමහරි හෙන ගේමක් දීලා මුව බෝඩිමට අරන් ගිහින් නිදි කෙරෙව්වා.පහුවදා තමයි මූ ගහගෙන යන්න ගිය සීන් එක හරියටම දැන ගත්තේ.

අපි ඔක්කොලටම වැදිලා ඉන්න වෙලාවේ මූ තනියම ගිහිල්ල අර මම කිව්ව බෙන්ච් එකකට,බෙන්ච් එකේ හාන්සිවෙලා එහෙම ඉද්දි මුගෙ ගෑනි(යක්ෂණි ) ගෙන් මුට කෝල් එකක් ඇවිල්ලා.යක්ෂණි මුගෙන් අහල යකා කොහෙද ඔයා ඉන්නේ අනේ කියල,මූ පණ්ඩිත කමට කියල අපි මේ ඇලක් ළඟ බොනවා කියල.ගෑණි මුට කියල අනේ පරිස්සමින් යක්ෂයෝ ඔයා ඇලට වැටිලා ගහගෙන ගියොත් එහෙම කියල.සුස්තියේ පවර් එක කොහොමද කියනවනම් මුටත් පොඩ්ඩ පොඩ්ඩ හිතිලා ඇත්තටම මූ ඇලක් ළඟ ඉන්නේ කියල.බය උන පාරට මූ බෙන්ච් එක පල්ලේ වැටිලා.ඔන්න ඔහොමයි වැඩේ වෙලා තියෙන්න.පිස්සු හැදෙනවා....පොර තවමත් එහෙම මයි..පිස්සුම තමයි..

Friday, January 23, 2015

වංචාකාර පෙම්වතියගේ බූට් එක (Amateur Cheating Girlfriend)


අද උදේම උඩ ගිහින් ඇහැරුනේ කකුල් දෙක vibrate වෙනවා දැනිලා.ඊයේ රෑ phone එකත් අතේ තියෙද්දීම නින්ද ගිහිල්ලා.රෑ මොන හීන දැක්කද මන්දා මමත් නොදැනීම phone එක කකුල්  දෙක ළඟ.මොන පයන්නෙක් උදේම කෝල් කරනවද දන්නෙ නැහැ කියල හිතපු මම phone එක රින්ග් වෙන්න ඇරලා නිකන් හිටියා.පොඩ්ඩක් නින්ද යාගෙන එද්දිම ආයෙත් මේ මගුල රින්ග් වෙනවා.මොන හු*#*#*#** මුන්ගේ අ***#### කියල හිතින් හිතාගෙන ඉවර වෙලා මම නිදිමතේම ඇඳ පුරා අතගාල phone එක හොයා ගත්ත.නිදිමතේම display එක දිහා බලද්දී කෝල් කරන්නේ මගේ සුපිරිම බොක්කක් තේරෙන බාසාවෙන් කිව්වොත් brother from another mother කියන්නේ,අන්න ඒ වගේ එකෙක්.මුට අපි නුවන් කියල කියමුකෝ.
අපි දෙන්න මුලින්ම සෙට් උනේ 6 වසරේදී එදා ඉඳන් අද වෙනකන් පට්ටම සහෝදර බැඳීමක් තමයි අපිට තියෙන්නේ.මම සං ගාල phone එක answer කරා, පිස්සුද හු*#*#* උදේම කෝල් කරන්නේ ?? උඹට නින්ද යන්නෙ නැද්ද ?? මම කියාගෙන ගියා,එහා පැත්තෙන් නෝ ආන්සර්,මම ආයෙත් hello කිව්වා,ඊට පස්සේ කෙඳිරිලි හඬකින් යාළුවා මොනවදෝ කිව්වා,මොනවද බන් කෙඳිරි ගාන්නේ හයියෙන් කියපන්කො,ඊට පස්සේ මු අඬන්න වගේ කියපි මචං නිලූට වෙන කොල්ලෙක් ඉන්නවලු(නිලූ කියන්නේ මුගෙ කෙල්ල).නෑ........කියල උඩට ඇදපු හුස්ම පහලට දාගන්න බැරුව මම ගල් උනා.මගේ චේන් පැන්න.මම ඇහුව උඹ කොහෙද මචං ඉන්නේ කියපන් මම ක්ෂණිකව එන්නම් කියල,මම අහවල් තැන ඉන්නේ ඌ කිව්වා,එළ මම සං ගාලා එන්නම්, මම කෝල් එක කට් කරා.මාව තවම කරකවල අත්හැරිය වගේ.මේ වෙලාවට නැති යාලුකන් මොකටද කියල මම දඩ බඩ ගාල ලැස්තිවෙලා පොරව හම්බවෙන්න ගියා.

යන ගමන් මට කල්පනා උනෙත් මුන් දෙන්නගේ epic ආදර කතාව.අවරුදු වලින්ම 6 ක් වෙනවා ඉතිහාසෙට.කොල්ල ගියේ මිශ්‍ර පාසලකට,පාසලේ සයන්ස් ඩේ එක දවසේ ගීතයක් ගායනා කීරීම සඳහා ඕගන් වාදනය කරන්න අපේ කොල්ල ගිහිල්ලා. ඔන්න ඔය සින්දුව කියන්න ආපු කෙල්ල(නිලූ) අපේ කොල්ල මේකිව දැකපු ගමන් උට සමනල්ලු පියාඹනවා,දේදුනු පායනවා වයලින් ගහනවා මේවා ඔක්කොම මු දැකලා,ඇහිලා.කෙල්ල කියල තියෙන්නෙත් titanic චිත්තරපටියේ තේමා ගීතය,ඒකෙත් හැටි කිව්වලු.මම නම් තවම එක කෙල්ලෙක්ට මැරීගෙන ආදරේ කරලා නෑ.මමයි නුවනුයි ගියේ එකම පෞද්ගලික විශ්ව විද්‍යාලයට ඒ අවරුදු හතරෙන් දෙකක්ම අපි දෙන්න හිටියේ එක කාමරේ, ඒ කාලේදී මු ලව් කරපු හැටි මගේ මේ ඇස් දෙකෙන්ම මම දැකලා තියනවා.උදේට නැගිටින්නෙයි,රෑට නිදියන්නෙයි කෙල්ලට කොල්කරගන,ඒ අතරත් sms හැට හුට හමාරක් විතර යවනවා.හැම සති අන්තෙම කෙල්ල හම්බවෙන්න ගෙදර ආවා.ආය වැල් වටාරම් ඕනි නැහැ කොල්ල බැහැලාම ලව් කරා.මේ ඔක්කොම අහල දැකලා තිබ්බ මට මේකිට වෙන කොල්ලෙක් ඉන්නවා කියපුවම චේන් පනින එක අහන්න දෙයක්ය??


මම අදාල තැනට යන විට පොර බිම බලාගෙන අනිමිස ලෝචන පූජාවේ කරනවා.මම ලඟට ගිහින් උරහිසට තට්ටුවක් දැම්ම,කොල්ල හෙමින් ඔලුව උස්සල මංදිහා බැලුව, මට නිකං පිස්සු වගේ, උගේ මුණ කළු වෙලා ඇස් දෙක රතුවෙලා වෙනද මාව දැකපු ගමන් හිනාවෙලා කියන කට හැකර කථා,කුණුහරප මොකුත් අද නැහැ.මට මොනවා කියන්නද කියල හිතා ගන්න බැරි උනා.මගේ හිතට ආවේ එකම දෙයයි මම ඒක කියල දැම්ම.යමු මචන් බියර් එකක් ගහන්න.. කොල්ල සැර ජාති ගන්නේ නැහැ බියර් විතරයි,අහිංසකය.ඔන්න අපි බියර්,සිගරට්(මට බොන්න) පොටෙටෝ චිප්ස් ඕඩර් කරලා ගේනකන් ඉන්නවා.මූ කතාව පටන් ගන්නකන් මම බලන් ඉන්නවා.............මූ කථා ක‍රන පාටක් නැහැ.දැන් බියර් එහෙමත් ගෙනාව චියස් කියල එක උගුරක් බීලා මම සිගරට් එකක් පත්තු කරා.මූ කථා කරන පාටක් නැහැ ඒ නිසා මම කිව්වා
ගනන් ගන්න එපා බන් ඕව ඔහොම තමයි.මූ බියර් එකෙන් තව උගුරක් බීලා කතාව පටන් ගත්ත,

කව්ද හිතුවේ බන් එයා(කෙල්ලට එකී මේකි වත් කියන්නේ නැහැ) මෙහෙම කරයි කියල මූ හෙන අව්ලෙන් කිව්වේ,කටහඬත් වෙව්ලනවා වගේ,කෙල්ල උදේම කථා කරලා මුට කියල එයාට තවත් මේක කරගෙන යන්න බැහැ කියල මූ බලලා ගහෙන් ගෙඩි එන්න වගේ මොනවද මේ කියවන්නේ කියල.කොල්ල තව වධ කර කර අහද්දී තමයි මෙකි කියල තියෙන්නේ වෙන කොල්ලෙක් ඉන්නව කියල.මට මල පැන්න ඒක අහල මේකිව මරන්න එපැයි පට්ට ඩේසි මම කටට ආපු ටික එහෙම්ම කියල දැම්ම.මට මෙහෙම තරහ යනවනම් ඌ ඉන්න තත්වය මට හිතාගන්න පුළුවන් උනා.ඒත් පොර ඒවා ඔක්කොම හිතේ තියාගෙන මේ ප්‍රශ්නෙට මුහුණ දෙන විදිය මට හිතාගන්න බැහැ.හුඟ දෙනෙක් වගේ තරහින් පුපුර පුපුර කෑගහන්නෙවත්,හොටු පෙර පෙර අඬන්නේ වත් ඒ මොනවත් ඌ කරේ නැහැ.එක්කෝ ඌ තවම කෙල්ල ගිය කම්පනයෙන් මොකුත් කියාගන්න බැරුව ඉන්නවා ඇති.


ඌ කියපු කථාව ඔක්කොම කියන්න ගියොත් ලිපිය දිග වැඩි වෙන නිසා මම ඉතුරු ටික කෙටියෙන් කියල දාන්නම්.කොල්ල මට කියපු විදිහට
 නම් මේක නිසා තමයි කෙල්ල මුව අත ඇරලා වෙන එකෙක් එක්ක සෙට් වෙලා තියෙන්නේ,

කැම්පස් එකේ අන්තිම අව්රුද්දේ අපිට වෘත්තීමය පුහුණුව සඳහා ආයතනයකට යන්න ඕනි නේ,එතකොට ඉතින් ලෙක්චර්ස් තියෙන්නේ සති අන්තේ තමයි.ඉතින් නුවනුත් වෘත්තීමය පුහුණුව ලබාගන්න ආයතනයකට ගියා,සති අන්තේ ලෙක්චර්සසුත් ගියා,ටිකෙන් ටික කොල්ල බිසී උනා,ගෙදර යන එන එකත් අඩු වේවී ගිහින් නැවතිලම ගියා.phone එකෙන් තමයි ලව් එක ඇදල තියෙන්නේ.ඒ කියල කොල්ල වෙනසක් කරලා නැහැ වෙනදාටත් වඩා කෝල් කරලා,මැසේජ් කරලා වෙනද වගේම ලව් එක ගලාගෙන ගිහිල්ලා.දැන් මාස දෙකක ඉඳන් නුවන් ඉස්සර වගේම මේකිව හම්බවෙන්න ඇවිල්ලා,කිසිම අව්ලක් තිබිල නැහැ.දැන් සතියක ඉඳන් කෙල්ල පොඩ්ඩක් කෝල් කරනවා අඩුයි ලු,වැඩි කථා බහක් කරේ නැල්ලු.අද උදේ තමයි මේ ඩේසි එකපාරටම ඔක්කොම කියල දාලා තියෙන්නේ.

මේ කොල්ල මේක බඳින්නම කරපු ලව් එකක්.මම ඒක හොඳටම දන්නවා.මම නම් හිතන විදිහට මේක උනේ උගේම හොඳට ඇයි යකඩෝ බැන්දට පස්සේ මේ ගෑනි ඔහොම වෙන එකෙක් එක්ක ගියානම්.කෙල්ල කියන විදිහට මේක කෙළ වෙලා තියෙන්නේ මේක long distance relationship එකක් නිසාලු...අනේ මගේ කට.එයාට තෙරුනාලු අපේ කොල්ල එයාගෙන් ඈත් වෙලා යනවා කියලා.ඒ නිසා මෙයා මීට මාස හතරකට උඩදී වෙන කෙනෙක්ට ලං වෙලා,කොල්ලෝ දෙන්නම එක්ක මාස හතරකුත් ඉඳලා.long distance relationship පුක තමා.සමහර අයට පේන විදිහට කෙල්ල සාධාරණ වෙන්නත් පුළුවන්.අනේ මට නම් එහෙම පෙන්නේ නැහැ.

මීට වැඩිය මේ ගැන ලියන්න ගියොත් ලියවෙන්න කුණුහරප,දැන් ලිව්වා ඇති.හෙටත් උදෙන්ම කොල්ලව බලන්න යන්න ඕනි.long distance relationship තියන කට්ටිය පොඩ්ඩක් alert එකේ ඉන්න.





Thursday, January 22, 2015

ශ්‍රී ලාංකීය විකල්ප සංගීත ධාරාව

පොස්ට් එක ලියන්න කලින් කියන්න ඕනි මම මහා ලොකු සංගීත විශාරද කෙනෙක්වත් ගීත විචාරයෙහි කෙළ පැමිණි කෙනෙක්වත් නෙවෙයි.ඒත් මම සින්දු පිස්සෙක් ආය හොඳම පිස්සෙක් ගීටාර් එක ගහන්නත් කට්ට කාල ඉගෙන ගත්තේ එකයි. මෙම පොස්ට් එකේ අරමුණ වෙන්නෙ ශ්‍රී ලාංකීය විකල්ප සංගීතය ගැන තව එක්කෙනෙක් හෝ මට පුළුවන් විදිහට දැනුවත් කරලා වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම කලාකරුවන් වන එම ශිල්පීන්ට මගේ උපහාරය පුද කිරීමයි.

විකල්ප ධාරාවේ ශිල්පීන් බොහෝවිට තමන්ගේ ගීතවලින් කථා කරන්නේ දේශපාලනය ගැන.මගේ නම් දේශපාලන දැනුම ඉතාම අල්පයි.ඒ නිසා ගොඩක් ඒවා මට තේරෙන්නේ නැහැ.ඒ ඇරුනම ආදරය,ජීවිතය,නිදහස(යුද්ධෙන් පස්සේ හම්බුන එක එහෙම නෙවයි )
ගැන සාමාන්‍යයෙන් අපි බලන කෝණයට වඩා වෙනස් විදිහට මෙම ශිල්පීන් බලලා තියෙනවා.ගොඩක් අයට නම් මෙම ගීත ගැන මුන් 
මොනවද මේ කියවන්නේ??,පිස්සු හු***ලා,මුන්ට සින්දු කියන්න පුලුවන්ද??  මුගෙ හැටි බලපන්....කුඩු කාරයෙක් වගේ...ෂුවර් එකටම මු නම් ගංජා ගහනවා කියල හිතෙයි.ඒ උනාට කටයි පුකයි වහගන ඉන්නවට වඩා ආර්ථික වාසි ගැනද නොසිතමින් ඔවුන් කරන්නේ සමාජ මෙහෙවරක් බව මගේ අදහසයි.දැන් ලංකාවේ බිහි වෙන බොහෝ ගීතත් කලින් බිහිවුන බොහෝ ගීතත් ප්‍රධාන ධාරාවට අවශ්‍ය ලෙස තමයි නිෂ්පාදනය වෙන්නෙ.ප්‍රධාන ධාරාවේත් මට පේන විදිහට ප්‍රබුද්ධ/සම්භාව්‍ය සහ එසේ නොවන ලෙස කොටස් දෙකක් තියනවා.මට පේන විදිහට නම් ලංකාවේ විකල්ප ධාරාව තුල සිදුවෙන්නේ ප්‍රධාන ධාරාවේ දි අවධානය යොමු වෙන ජනප්‍රියභාවය සහ මුදල් කියන සාධක වලට ප්‍රමුඛතාවය නොදී තමන්ගේ පණිවිඩය සමාජයට ගෙන යෑම.




මම කථා කරන්න යන්නෙ විකල්ප ධාරාවේ ශිල්පීන් කිහිප දෙනෙක් ගැන විතරයි.මීට අමතරව තව ගොඩක්අය ඉන්න පුළුවන්.

මගේ අදහස අනුව නම් සින්දුවේ වචන ටික කොච්චර පට්ට උනත් තනුව සහ ගායනය චොර නම් සින්දුව ෆේල්ය.මෙම ලිපියෙන් ගායනය,සංගීතය සහ පද රචනය යන සියල්ලටම සාධාරණයක් කරපු විකල්ප ධාරාවේ ගීත
ටිකක් සඳහන් කරන්නම්.

පලවෙනි ගීතය තමයි titanic නැව





මේ සින්දුව කියන්නේ චින්තක ගීතදේව සින්දුවේ අවසාන කොටසේ වචන ටික බලමුකෝ

රෝස් බත් කනවා… රෝස් නිදියනවා

සෙක්සි සාධුගෙ බණ අහන්නට අසපුවට යනවා


මේ සිංදුව සම්පූර්ණයෙන් අහල බලන්න ශ්‍රී ලාංකීය සමාජය තුල බොහෝ දෙනෙක් අත්විඳින නීරස විවාහ ජීවිතය ගැන තමයි මේකෙන් කියන්නේ. 

මෙම කලාකරුවගේම තවත් සුපිරි සින්දුවක් තියනවා ඒක තමා හැමතැනම මරුවැල්ය




හැමතැනම මරුවැල්ය..
නුරා නෙතු ගිනිදැල්ය //
ආත්මය පරඬැල්ව.. පයින් යන පොරවල්ය

විඩා පිරි මුවවල්ය
හිඟා කන අතවල්ය
අත නොපා අතපාන.. සිනා නැති පොරවල්ය
ඇට ගැහුණු ඇඟවල්ය
ණයට කන බඩවල්ය
වේලකට හාල් පොල්.. අරන් යන පොරවල්ය

මග දෙපස කොඩිවැල්ය
මුවසිනහ මනලොල්ය
ගාඞ් පිට ඇමතිවරු.. ඇදෙන හැටි ආතල්ය


කියවපු ගමන් තේරෙනවනේ පණිවිඩේ......අපි නිතර දෙවේලේ කතා කරන භාෂාව හරි ලස්සනට ගීතය රචනා කරන්න යොදාගෙන තියනවා.

ඊලඟ කලාකරුව නම් ඔය ගොල්ලෝ අහලත් ඇති එයා තමයි අජිත් කුමාරසිරි ඇත්තම කියනවනම් මෙයාගේ සමහර සින්දු මම නම් අහන්නේ නැහැ/අහන්න බෑ.අහන ඒවා ගැන කියන්නම්කො


පළවෙනි සින්දුව තමා ග්‍රීස් ගහ





බැලු බැල්මටම කොල්ලෙක් බූට් එකක් කාල කියන සිංදුවක් විදිහට පෙනුනට මේකෙන් තව ගොඩක් දේවල් අදහස් වෙනවා.කව්රුහරි මේ ගැන හොඳ විචාරයක් ලියයි කියලත් මම බලාපොරොත්තු වෙනව.


දෙවෙනි සිංදුව ඇවිල්ලා මල් පොකුරු අරන්




මේ සිංදුවේ සංගීතය ගැන යමක් කියන්නම ඕනි.දේශීය ගැමි සංගීතයේ ආභාෂය මේ සිංදුවේ දකින්න පුළුවන්, හරි ලස්සනට සංගීතය සංයෝජනය කරලා තියනවා.අජිත් ගේ අනිත් සින්දුවලට වඩා මේකේ සංගීත භාවිතාව හුඟක් වෙනස්.


මල් පොකුරු අරන් ආවත්
හඳ පානේම ඔබ ආවත්
යන්න වෙන්නෙ අර පාරෙම

තුන්වෙනි ලෝකයේ රටක් මේක.........


අජිත් ගේ තව සිංදු මෙතනින් ගියොත් බලන්න පුළුවන්.


ඊළඟ කලාකරුව නම් තරමක් ජනප්‍රියයි ඔහු තමා අමිල සඳරුවන්

අමිලගේ ජෝන් සීනා ගීතය හැමෝම අහල ඇති නේ,බලන්නකෝ එයාගේ මේ සින්දුව අහල තියනවද කියල ?



මේකේ නම සාමාන්‍ය ජනතාව


                                           



සාමාන්‍ය ජනතාව සමානයි
මගෙ පෙම්වතිය //

ඊයේ වන තුරු මම විශ්වාස කළේ
ඇය උන් ළඟටවත් නොයයි කියා
මටත් හොරෙන් ඇය
උන්ට එකතු වෙලා

සාමාන්‍ය ජනතාව සමානයි
මගෙ පෙම්වතිය //

දැනුයි දැනුයි මට තේරෙන්නේ ඔව් ඔව්
මට මතකයි ඉස්සර ඉඳන්
ඇය ආස කලේ
උන් ළඟටම යන්නටයි



Wednesday, January 21, 2015

සිගරට් බොන සර්පයා




 සිගරට් බොන මිනිස්සු නම් ඕනෙතරම් ඔයාලා දැකලා ඇති,ඒත් සිගරට් බොන සර්පයෙක් ගැනයි උදේ පාන්දරම මේ ලියන්න යන්නෙ.මේ 
සිද්ධිය  වෙලා තියෙන්නේ අපේ ගෙවල් පැත්තේ කොල්ලෙකුට,මම දන්න තරමින් නම් පොර හෙන අහිංසක ඩයල් එකක්,අපි අපේ හැඟුම් වලට ඉඩ දීලා හඳපානේ මඳ අඳුරේ පොඩ්ඩක් සෙට් වෙලා ඉන්නකොට තමයි යාලුවෙක් මේ සිද්ධිය කිව්වේ.


දවසක් දා හැන්දෑවක ගෙදර අය ගමනක් ගිහිල්ලා මේ කථානායක කොල්ල විතරයි ගෙදර තනියම,ඔයාලා දන්නවනේ තනියම ඉන්න වෙලාවට මල විකාර අයිඩියාස් එනවනේ,අපේ මේ කොල්ලටත් ඇවිල්ලා පොඩි අයිඩියා එකක්,අයිඩියා එකක් කිව්වට අයිඩියා එකක්ම නෙවෙයි පොඩි දොළ දුකක්.සිගරට් එකක් බොන්න

කොල්ලොන්ටත් හිතෙන දේවල්,ඔන්න කොල්ල දැන් කඩේට එහෙම ගිහිල්ලා සිගරට් එකක් අරන් ගෙදර ඇවිල්ලා ජනෙල් දොරවල් වහගෙන
සිගරට් එක කටේ ගහ ගෙන ගිණි කූර ගහපු ගමන් හිතට ආවලු අමුතුම මෙව්වා එකක්.ඊට පස්සේ ගිණි කූර විසිකරලා කොල්ල එලියට ගියාලු.
මුට ඇවිල්ලා තියන මෙව්වා එක තමයි ගේ ඇතුලේ සිගරට් බිව්වොත් ගෙදර ‌‍‍සිගරට් ගඳ එයි කියන එක.

සිගරට් එක බොන්න තැනක් හොයන්න පස් මහා බැලුම් බලපු අපේ කොල්ල අන්තිමට තමන්ගේ දොල දුක සංසිදුව ගන්න ගේ පිටිපස්සේ අලි සයිස් පත කොස් ගහක් තෝරගෙන,දැන් කොල්ල කොස් ගහට මුවා වෙලා සිගරට් එක ගහනවලු.ශ්වශන මාර්ගය පුරා විහිදිලා යන සිගරට් දුමෙන් කොල්ල මුසපත් වෙලා වෙලා ඉන්න මොහොතේම කොල්ලට ගෙදර ගේට්ටුව අරින සද්දේ ඇහිලා කොල්ල බය උන පාරට මුට එලොව පොල් නෙවෙයි රුපියල් 60,70 ලංකාවේ පොලුත් පෙනිලා.බාගෙට ගහපු සිගරට් එක කොස් ගහ මුලම දාල කොල්ල දුවල කාමරේට,ඊට පස්සේ මේකා සෙන්ට් බෝතලෙන් බාගයක්ම කටට හලාගෙන ඉතුරු ටික ඇ‌‌‍ඟට හලාගෙන මෝල් ගහක් ගිල්ලා වගේ හිටියලු.


කොල්ලගේ තිබ්බ ලක් එක කොහොමද කියනවනම් එකේ තඩි හිලක්,කොල්ල ගේ පිටිපස්සේ ඉඳන් කාමරයට දුවනවා ගේට්ටුව ඇරන්
ඇතුලට ආපු කොල්ලගේ පිය රජතුමා දැකලා,පිය රජ ගේ පිටිපස්සට යනවලු බලන්න මොකද සීන් එක කියල.කොල්ල රත් වෙලා ගේ පිටිපස්සට දිව්වලු යද්දී පියාණන් කොස් ගහට කිට්ටු කරලා,කොල්ල එක පාරටම යටි ගිරියෙන් කෑ ගැහුවලු  යන්න එපා අප්ප්පචි ඔතන සර්පයෙක් හිටිය, සර්පයෙක් හිටිය කියල,කොල්ලගේ කීමෙන් තවත් එඩිතර වූපිය රජතුමා පොල්ලක් අරගෙන කොස් ගහ මුලට යද්දී සර්පයා ඉන්නවලු දුම දදා........ඊට පස්සේ අර පොල්ලෙන්ම කොල්ලට ෂොට් එක හම්බුනා කියල තමයි ඉතිහාසයේ සඳහන් වෙන්නෙ.





අසමත්ජාතියාගේ ආගමනය


ඔන්න දෙයියනේ කියල බ්ලොග් එකක් හදාගෙන ඉවර වෙලා පලවෙනි පෝස්ටුව ලියන්නයි අසමත්ජාතියා ලැස්ති වෙන්නෙ. නමෝ විත්තියෙන්ම බ්ලොග් එක හදා ගන්න උදව් වුන මේ පොස්ට් එකට තෑන්ක් යු වේවා කියල වැඩේ පටන් ගන්නයි යන්නෙ ආයුබෝවන්.


මම වනාහි සොමියට බර,සාමාන්‍ය සමාජ සම්මත ජීවන රටාවට එහා ගිය මටම ආවේනික ජීවිතයක් සොයාගෙන යන ඩයල් එකක්මි.




මට හය හතර තේරෙන කාලේ ඉඳලා(අවුරුදු 20) විතර ඉඳලා ගොඩක් දෙනෙක් ජීවත් වෙන්න පුරුදු වෙලා තියන ඒකාකාරි ජීවිතේ එපා උනා.මම ජීවිතය හොයාගෙන යන ගමනෙ මගේ අත්දැකීම් බෙදාගන්න තමයි බොගක් දාන්න හිතුවේ.